නිවාසාන්තර ක්‍රීඩා උත්සවය – 2020

ක්‍රීඩාව තුළින් ලබා ගන්නා අත්දැකීම් සමාජය තුළ ජීවත් වීමේ දී අත්‍යවශ්‍ය වේ. එකී අත්දැකීම් කුඩා කල පටන් ලබා ගැනීමට ඉඩ සලසා දීම හරහා දරුවන්ගේ අනාගතය සාර්ථක වනු ඇත. එම අරමුණ සමගින් සංවිධානය වූ මහානාම විද්‍යාලයීය 2020 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 14 වනදා අති උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රී ලාල් නෝනිස් මැතිතුමා සහභාගී වූ අතර තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය. ආරාධිත පාසල් තරග ඇතුළුව තරග ඉසව් රාශියකින් සමන්විත වූ ක්‍රීඩා උත්සවයේ දේශීය සංස්කෘතිය විදහා පාමින් 6/7 අංශය ඉදිරිපත් කළ අංගම්පොර සංදර්ශනය සියලු දෙනාගේ අවධානයට ලක් විය. ශිෂ්‍ය භට ඛණ්ඩයේ සංදර්ශනය සහ 3/4 ශ්‍රේණි සංදර්ශනය ද ක්‍රීඩා උත්සවයට වර්ණවත් බවක් එකතු කරන ලදී.

ක්‍රීඩා උත්සවය ආරම්භ කරන විටත් ඉදිරියෙන් සිටි උපේක්ඛා නිවාසය පැවැති තරග ඉසව් සියල්ලේම ජයග්‍රහණ ලබා ගත් ආකාරය අනුව ලකුණු සටහනට ලකුණු එක් කර ගත්හ. එසේම හොදම නිවාසය ලෙස තේරී පත් වූ ඔවුන් ආචාර පෙළපාලියෙන් ද ලකුණු ප්‍රමාණයක් සිය ලකුණු සටහනට එකතු කර ගන්නා ලදී. සමස්ත ක්‍රීඩා උත්සවය අවසානයේ සිව්වන ස්ථානය කරුණා නිවාසයටත්, තෙවන ස්ථානය මෙත්තා නිවාසයටත් හිමි විය. මසකට ආසන්න කාලයක් පුරා පැවැති සියලු තරග ප්‍රතිඵල අනුව සමස්ත ලකුණු සටහනේ ලකුණු 401 ක් ලබාගත් උපේක්ඛා නිවාසය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමස්ත ශූරතාවය දිනා ගත් අතර පසුගිය වර ශූරතාවය දිනා ගත් මුදිතා නිවාසය මෙවර අනුශූරයන් බවට පත් විය.

Advertisement

 

Leave a Comment